Monday, August 31, 2015


ප්‍රගීත් ඝාතනය කළ හමුදා නිලධාරීන් කව්රු වුවත් හෙලිදරව් කරනු: වසා දැම්මොත් පාරට බැස අරගල කරනවා‘ -සමන් රත්නප්‍රිය සමග පුරවැසි-මාධ්‍ය-වෘත්තීය සංවිධාන රැසක් එක හෙළා කියති



 ප්‍රගීත්ගේ ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් කුමන තරාතිරමක අය වුවත් මේ ඝාතන හෙලිදරව් කළ යුතුමයි. ප්‍රගීත් ඇතුළු කිසිදු මාධ්‍යවේදීයෙකුගේ ඝාතන වසා දැමීමට අප ඉඩ දෙන්නේ නෑ.. එහෙම වුනොත් පාරට බැහැලා අරගල කරනවා.. ඒ බව හදපු ආණ්ඩුවටයි, පත් කළ ජනාධිපතිවරයාටයි, නීතිපතිවරයාටයි, පොලිසියටයි අපි අනිවාර්යයෙන්ම මතක් කරනවා“ යි පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා අද පැවසීය. 
ඔහු මේ ප්‍රකාශය කෙළේ චුදිතයන් බේරා ගැනීමට කරන කුමන්ත්‍රණ නතර කරනු..! පරීක්ෂණ නොමග යවා යට ගැසීමට උත්සාහ නොකරනු..!! මැයෙන් සහ ප්‍රගීත්ගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරමින් මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව විසින් අද දහවල් සමාජ හා සාමයික් කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි. පුරවැසි සංවිධාන සහ වෘත්තීය සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා වැඩි දුරටත් මෙසේ කීය.
මූලික වශයෙන් අපි එදා ප්‍රගීත් එක්නැලිගොඩ ගැන කතා කෙළේ අතුරුදහන් වීමක් විදිහට. නමුත් දැන් ඉතාම පැහැදිලියි එක්නැලිගොඩ ඝාතනයක් කියලා. ඒකට මෙරට හමුදාව සම්බන්ධ බවත් ඉතාම පැහැදිලියි. ඉතාම නිහීන විදිහට මේ ඝාතනය අවුල් කිරීමට විවිධ ප්‍රකාශ කළ අය හිටියා. එක් අයෙක් වන්නේ පුත්තලමේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා. ප්‍රගීත් ප්‍රංශයේ සිටිනවා දැක්කා කියා ඔහු කීවා. වෙනත් කාන්තාවක් සමග ජීවත් වෙනවා කියලාත් තව අය කීවා. ප්‍රගීත් මෙහේ අමු අමුවේ මරා දාලා ප්‍රගීත්ගේ ආත්මයත් මරා දාන තැනට තමයි මේ රටේ දේශපාලනඥයන් ක්‍රියා කෙළේ. මෙරට එවක නීතිපතිවරයා මොහාන් පීරිස් ජිනීවා වලදී ප්‍රගීත් වෙනත් රටක ජීවත් වෙනවා කියලා. ලංකාවේදී ආරවුල් සහගත පිලිතුරක් දී බේරී ගියා. රටේ ජනතාව ව්‍යවස්ථාදායකයට යැවූ මන්ත්‍රීවරයෙක් සහ නීතිපතිවරයා මේ විදිහට තමා අසත්‍ය ප්‍රකාශ කරන්නේ.
හෝමාගම උසාවියේ නඩුව සහ හබායස් කෝපුස් නඩුව ලෙස නඩු දෙකක් විභාග වෙනවා ප්‍රගීත් ගැන. වසර ගණනාවක් මේ නඩු විභාග වුනේ නෑ, ජනවාරි 08 දා වෙනසින් පසුව මේ නඩු විභාගයට ගත්තා. හමුදාවේ 7 දෙනෙකු සහ දෙමළ ජාතික අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. හමුදාවේ අය අත් අඩංගුවට ගන්න බොහෝ ප්‍රමාද වුනා. ඔවුන් අත් අඩංගුවට ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයත් හමුදාවත් ප්‍රමාද කළා. දැන් ඔවුන්ගෙන් බොහෝ තොරතුරු හෙලිදරව් කරගනිමින් සිටිනවා. දිවයිනේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට හිරිහැර කිරීම, පෝද්දල ජයන්තගේ කකුල් කැඩීම, රවිරාජ් නඩරාජා මන්ත්‍රීවරයාගේ ඝාතනය, යනාදී සියල්ල ඔවුන්ගෙන් හෙලිදරව් වෙනවා. 
පසුගිය පාලකයන් කෙළේ මිනිසුන් මරණ එක පමණක් නොවේ. මිනිසුන් මරණවා කියලා තර්ජනය කරලා මිනිසුන්ගේ ධනය මංකොල්ලා කෑවා. ඒවා දැන් හෙලිවෙනවා. ඒ නිසා  ප්‍රගීත්ගේ මරණය ගැන පරීක්ෂණ අවසානය දක්වා ගෙන ගොස් හෙලිදරව් කර ගැනීම වැදගත්.
පසුගිය බ්‍රහස්පතින්දා සවස 4 වන විට අත් අඩංගුවට ගැනීම අවසන් වීමේ අනතුරක් තිබුනා. මේ අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් දේශපාලනිකව මැදිහත් වීමට අපට සිදුවුනා. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කතා කරලා මේ සම්බන්ධයෙන් කීවා. ජනාධිපති ලේකම් කතා කරලා අපට කීවා අප ඒක කරනවා කියලා. ඒක කළා කියලා අගමැතිවරයා කීවා. මෙරට ප්‍රධානම පුරවැසියන් දෙදෙනා දේශපාලන මැදිහත් වීම් කළත් ඊට පසු දින දෙකක් ගත වන තෙක් ඒ ලිපි ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ නෑ. 
ආරක්ෂක ලේකම් වරයාට අප කියනවා කරුණාකරලා මේ රට ගැන හිතලා තීන්දු ගන්න කියලා. රට බරපතල අර්බුදයක මේ අවස්ථාවේ තියෙන්නේ. මූලික වශයෙන් ජිනීවා යෝජනා හරහා. ප්‍රධාන වශයෙන් මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණය නිසි ලෙස කරන්නට ක්‍රියා කළ යුතුයි. දේශීය පරීක්ෂණ වලින් අදාල ඝාතන වසා දැමීමට කටයුතු කරනවා නම් දේශීය පරීක්ෂණ හරියට නොවන බව තමයි ජාත්‍යන්තරයට වාර්තා වෙන්නේ. එහෙම වුනොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනැයි කියලා හැමෝම පිලිගනීවි. 
එ් නිසා ප්‍රගීත් ගැන කරන දේශීය පරීක්ෂණය හරියට කරන්න ඕනේ. ඒ සමග ගැට ගැසී ඇති සියළු අපරාධ සම්බන්ධයෙන් හෙලිදරව් කරගන්න ඕනේ. වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. දඬුවම් නොදී රටක් හදන්න බෑ. ඒවා යට ගැසුවොත් අනාගතයට වැරදි පූර්වාදර්ශයක් දෙන්නේ. එහෙම වුනොත් මේ රටේ හැම මිනිහම හිතනවා මිනිස්සු මරලා හැංගෙන්න පුළුවන් කියලා. ප්‍රගීත්ගේ බිරිඳට දරුවන්ට සහ ජනතාවට සාධාරණයක්ක කිරීම සඳහා මේ ඝාතනය සඳහා දායක වූවන් අත් අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දිය යුතුයි. 
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද අපට බරපතල ගැටලුවක් තිබෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරම ඉතාම කණගාටුදායකයි. ඒක රටට හොඳ නෑ. එක නඩුවකින් හිටපු ආරක්ෂක ලේකම් වරයා නිදහස් කියලා ගාල්ල අධිකරනයෙන් තීන්දුවක් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ලා 9 ක් ඉන්නවා. අපරාධ සම්බන්ධයෙන් ඉන් 4 ක් ඉන්නවා. ඒ 4 දෙනාගෙන් 3 දෙනෙකුම එහෙම කරන්න බෑ කියලා තියෙද්දි තමයි නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය නිදහස් කරන්නේ. 
ප්‍රගීත්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. හමුදාවේ කුමන තරාතිරමක අය සිටියත් මේ ඝාතනය හෙලිදරව් කළ යුතුමයි. ප්‍රගීත් ඇතුළු කිසිදු මාධ්‍යවේදියෙකුගේ ඝාතන වසා දැමීමට අප ඉඩ තබන්නේ නෑ. එහෙම වුනොත් පාරට බැහැලා අරගල කරනවා. ඒ බව හදපු ආණ්ඩුවටයි, පත් කළ ජනාධිපතිවරයාටයි, නීතිපතිවරයාටයි, පොලිසියටයි අපි අනිවාර්යයෙන්ම මතක් කර සිටිනවා..සමන් රත්නප්‍රිය මහතා පැවසීය
ඝාතන වහන්න කුමන්ත්‍රණය කරන මාධ්‍යවේදීන් හෙලිකරනවා‘ -වගආරච්චි
මෙහිදී අදහස් දැක්වූ මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ උපදේශක කැඳවුම්කරු සමන් වගආරච්චි මහතා කියා සිටියේ මේ ඝාතන වසා දැමීමේ කුමන්ත්‍රණයට මාධ්‍යවේදීන්ද හවුල් වී සිටින බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ වගආරච්චි මහතා
මේ ඝාතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් මේ සමාජය තුලින්ම පෙන්නුම් කරනවා. කණගාටුවෙන් වුවත් කිව යුතුයි අපේ මාධ්‍යවේදීනුත් ඒ සඳහා හවුල් වෙමින් සිටිනවා. ඒක බරපතල ගැටලුවක්. මාධ්‍යවේදියෙක් විදිහට මාධ්‍යවේදී සහෝදරයන්ගෙන් මං ඉල්ලීමක් කරන්නේ මේ සත්‍ය වසන් කිරීමට වැඩ කරන්න එපා කියලා. ප්‍රගීත්ගේ ඝාතනය සම්බන්ධයෙන් යුද්දයට දායක වූ බුද්ධි අංශ ප්‍රධානියෙක් අත් අඩංගුවට ගන්න යනවා කියලා අද එක් පුවත් පතක පළ වී තිබුනා (දිවයින පුවත් පත ලීවේ සමන ගමගේ නමැත්තා) එය විය හැකියි. යුද්දයට ඔවුන්ගේ දායකත්වය ගැන ඔවුන්ට යම් ගෞරවයක් සමාජයේ තිබෙනවා. නමුත් ඔවුන් විසින් යම් වරදක් කළා නම් මේ සමාජය තුල දඬුවම් දීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. ප්‍රගීත් වරදක් කර තිබේ නම් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම නොවේ කළ යුත්තේ. පවතින නීතිය යටතේ ක්‍රියාත්මක වීමයි. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණ නොකර මේ පරීක්ෂණ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි අප ඉල්ලා සිටිනවා. 1994 දී අපට කළ නොහැකි වූ දේ 2015 දී නැවතත් අතහැර දැමුවහොත් මේ රට ගොඩක් පසුපසට යනවා. සත්‍ය වාර්තා කළ යුතුයි කියා මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරනවා. කුමන්ත්‍රණ වලට හසු නොවී සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න. මේ කුමන්ත්‍රණ වලට යම් මාධ්‍යවේදියෙක් හසුවනවා නම් මාධ්‍ය සංවිධාන ලෙස අප ඔවුන්ගේ නම් ගම් හෙලිදරව් කිරීමට කටයුතු කරනවායි සමන් වගආරච්චි මහතා පැවසීය. “ 
මේ ඝාතන වහන්නේ අපේ දරුවන්වත් ඉදිරි කාලය තුල ඝාතනය කරලා ඒ මළ මිනී උඩින් යන්නද?‘ -ධර්මසිරි
මෙහිදී අදහස් පළ කළ ප්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා
එස්.එස්. මායාදුන්නේ කියන ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ඉල්ලා අස්වෙන බවට පුවතක් අද පුවත් පතක තිබුනා. ඔහු ප්‍රකාශ කර තිබුනේ මේ රටේ බහුතරයකට අවශ්‍ය නෑ ශීලාචාර දේශපාලනයක් කියලා. මේ වන විට අපටත් ඒක ප්‍රත්‍යක්ෂ වෙමින් තිබෙනවා. අපට විශාල වශයෙන් චෝදනාවලියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. පළමු එක තමා අපි ඇඳුම් අඳින්නේ ඇයි කියන එක. ලැජ්ජාවට. හැබැයි අපිට ලැජ්ජා හිතුනට දේශපාලනයට පැමිණි කිසි කෙනෙකුට ලැජ්ජාවක් නෑ. මේක නම් තත්ත්වය මෙයට වග කිවයුත්තේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කළ අපි. 
අපි කල්පනා කෙලේ මිනිසෙකු කොතරම් වටිනවාද? එක් එක්කෙනාට ඕනේ විදිහට මිනිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරලා මරණයට පත් කරන්න බෑ. එවැනි දේවල් කරන මේ රට රටක්ද? එවැනි රටක් වර්නනා කරන අයට මොනවාද වෙලා තියෙන්නේ.? ජාත්‍යන්තර පරීක්ෂන පවත්වන ඒවාට විරුද්ධ වූනා.  නොසන්ඩාල දේශපාලනය මේ රටේ ස්ථාපිත කිරීමට දායක වීමක් ඒක. ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධ වුනු අය දේශීයව හරියට පරීක්ෂන කරන්නේ නැතිනම් ඒ අය වගකිව යුතුයි. 
එක්නැලිගොඩ කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූවා කියන මතයක් ගෙන යෑමට උත්සාහයක් දරනවා. එහෙම කොටි සමග සම්බන්ධකම් පැවැත්වූවා කියනවා නම් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කරගෙන ඉන්නේ . අද කේපීට නඩු දාන්න තරම් චෝදනා නෑ කියලා කියන්නේ කොහොමද?
ප්‍රගීත් ගැන විතරක් නොවෙයි. මරණයට පත් කළ සියලු දෙනා ගැන පරීක්ෂණ පවත්වන්න කියා ඉල්ලා සිටිනවා. මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් විදිහට ඉදිරියට ගෙන යන්න දේශපාලනඥයන් පියවර ගත යුතුයි. පරීක්ෂණ වසා දමනවා කියන්නේ අපේ දරුවන්වත් ඉදිරි කාලය තුල ඝාතනය කරලා ඒ දරුවන්ගේ මළ මිනී උඩින් යන්න  හදනවා කියන එකයි. එහෙම සේයාවක් අපට පේනවා. ඒක හඳුනාගන්න තිබෙන අවස්ථාවක් තමයි එක්නැලිගොඩ ඝාතනයේදී අත් අඩංගුවට ගත් පිරිස් යටපත් කිරීමට කරන උත්සාහය. එවැනි අශීලාචාර ආණ්ඩුවක් පත් කිරීමට අප දායක වූවානම් අප ජනතාවගෙන් සමාව ඉල්ලනවා. එයට විරුද්ධව පෙල ගැහෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නව ප්‍රවේශයක් ඕනෑ‘ - ආචාර්ය නිර්මාල්
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා 
සමාජයේ දේශපාලන ක්‍රමය පරිවර්තනය කළ හැකියි. ඒත් මේ මාෆියා යාන්ත්‍රණය දිගටම පවතිනවා. නිවැරදි පරීක්ෂණ කිරීමට මැලිවන්නේ බලයට ආවහම හැමෝම උත්සාහ කරනවා පාතාල කල්ලි වලින් උදව් ගන්න. ඒක නතර කිරීමට නොහැකියි. ප්‍රගීත්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ ඒකයි. ඒ නිසා අප යෝජනා කරන්නේ මේ පරීක්ෂණ සිදු කිරීමට අලුත් ප්‍රවේශයක් ගත යුතුයි. වැරදි කරුවන් සොයා දඬුවම් දෙනවාට වඩා වෙනත් ප්‍රවේශයක් ඕනෑ. නීතියේ ක්‍රියාවලියට යටින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් එළියට ගත යුතුයි. මං හිතන්නේ මහජනයා පුරවැසි සංවිධාන එකමුතු විය යුතුයි. සංකේතාත්මකව වැරදි කරුවන්ට දඬුවම් දෙනවාට වඩා දේශපාලනයේ කොටසක් ලෙස මෙවැනි පරීක්ෂණ කිරීම සඳහා අවධානය යොමු කළ යුතුයි.
වහන්න දෙන්නෑ පුරවැසි බලවේග ඉදිරියට එනවා‘ -චමීර පෙරේරා
වමේ කේන්ද්‍රයේ කැඳවුම් කරු චමීර පෙරේරා
මහ මැතිවරනය පවත්වා සති දෙකයි. මාස භාගයක් ගතවී තවම ආණ්ඩුවක් නෑ. රට කරන්නේ ලේකම් වරු. ඔවුන් පත්වීම් ගත්තේ පහුගිය ආණ්ඩුවෙන්. ඒ නිසා ඔවුන් මහින්ද රාජපක්ෂට පක්ෂපාතීව වැඩ කරනවා කියලා අපට හිතෙනවා. පහුගිය වසර 10 පුරාම අපරාධ කිරීමට උදව් කළ පුද්ගලයන් ආණ්ඩුකරනය සඳහා නැවතත් සම්බන්ධ කරගෙන තිබෙනවා. අප සිතන යහපාලනය ඇතිකළ හැකිවෙයිද
මේ අපරාධ යටපත් කිරීම සඳහා ජාතිවාදී අදහස් ඉස්මතු කරමින් සිටිනවා. උතුරේ ටයර් එකේ හුළං අරිමින් දකුණේ නයාගේ දළ කඩමින් ජාතිවාදය පැරදවීමට උතුරේත් දකුණේත් ජනතාව හොඳ පිළිතුරක් මහ මැතිවරණෙයේදී දුන්නා. අශුද්ධ එකඟතාවයන්ට රට පාවාදීමට මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැති බව රජයට මතක් කර දිය යුතුයි. සාධාරණය වෙනුවෙන් අපි පුරවැසි බලවේග නොනැවතී ඉදිරියට ගමන් කරන බවත් රජයට මතක් කර දිය යුතුයි.“ 
මුස්ලිම් ජනමාධ්‍ය සංගමය වෙනුවෙන් එන්.එම්.අමීන්, මාධ්‍යවේදී අනුර බණ්ඩාර රාජගුරු, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ලේකම් සිල්වෙස්ටර්  ජයකොඩි, ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ කැඳුවම් කරු ජනූර් කිචිලාන්, මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ සම කැඳවුම් කාරිනී දීප්ති අධිකාරී ආදී මහත්ම මහත්මීහුද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

No comments:

Post a Comment